සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

ඔබේ තේරීම අලුත් බිස්නස් එකක්ද? නැත්නම් කොපියක්ද? Empty ඔබේ තේරීම අලුත් බිස්නස් එකක්ද? නැත්නම් කොපියක්ද?

Sat May 18, 2019 6:29 pm
ව්‍යාපාරිකයෙක් වෙන්න සිහින දකින බොහෝ දෙනෙක් තවත් කෙනෙක් නොකරන තමන්ගේම අළුත් ව්‍යාපාර අදහසක් ගැන පුදුම විදියට හිතනවා.... ඇත්තටම තවත් කෙනෙකුගේ ව්‍යාපාරයක් ගෙඩි පිටින් කොපි නොකර තමන්ගේම අනන්‍යතාවයක් ඇති ව්‍යාපාරයක් නිර්මාණය කරන්න බැරිද? නගරයක මොහොතක් නැවතී අවට බැලුවහම දකින නානාප්‍රකාර ව්‍යාපාර ගොන්න අතරේ තමන්ට ඉදිරිපත් කරන්න අළුත් සංකල්පයක් නැද්ද කියන ගැටළුව අළුත් ව්‍යාපාර අදහසක් ගැන සිහින මවන බොහෝ දෙනෙකුට තියෙනවා.... තවත් සමහරුන්ට තමන්ගේ ව්‍යාපාර අදහස ගැන තියෙන්නේ අඩු තක්සේරුවක්.... සමහරුන්ට තමන්ගේ ව්‍යාපාර අදහස ගැන තියෙන්නේ අධිතක්සේරුවක්.. ඒ නිසා අද කටගැස්මෙන් ඒ ගැන කතා කරන්න මම තීරණය කළා.


ගිතයක් - නවකතාවක්- සිනමා නිර්මාණයක් එක රැයින් බිහි කරන්න බෑ.... ඒ වෙනුවෙන් දවස් ගාණක් - සති ගාණක්- සමහර විට මාස ගණනක් හිතන්න... කටු සටහන් ගහන්න... යළි යලි සකසන්න වෙනවා.... ඒත් සමහර නොසිතන මොහොතක ගීයක පදවැලම නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා.... ව්‍යාපාර සංකල්පයක් - අදහසක් වුණත් එහෙමයි....මාස ගණනක් හිතල හිතල නොලැබෙන සාර්ථක ව්‍යාපාර අදහසක් නොසිතූ මොහොතක ඔබේ හිතට නැඟෙන්න පුළුවන්.

එක රැයින් බිහිවෙන ව්‍යාපාර සංකල්ප වලට වඩා, කාළයක් තිස්සේ හිතේ පැළපදියම් වුණු, හිත ඇතුළෙම කැකෑරෙමින් පිරිමැදෙමින් ඔප මට්ටම් වුණු ව්‍යාපාර සංකල්පයක සාර්ථකත්වයක් දකින්න පුළුවන්.... මැත අතීතයේ රුපියල් දහදාහට- විසිදාහට- පැකේජ් වලට නිර්මාණය වන ක්ෂණික ගීත නිර්මාණ වලට වඩා අවුරුදු පහළොවකට විස්සකට කළින් නිසංසලේ නිර්මාණය වුණු ගීපද රචනා සහ නිර්මාණ ශ්‍රාවකයින්ගේ හිත පතුලෙම තැන්පත් වෙලා අදටත් නින්නාද දෙන්නේ ඒවගේ තිබෙන නිර්මාණශීලීත්වය නිසා.... ව්‍යාපාරයක් වුණත් එහෙමයි.... ක්ෂණිකව ආව අනුන්ගේ සංකල්පයකට වඩා තමන්ගෙම හිතේ ඇඳිලා වඩා හිමින් හෙමින් ගොඩනැඟිලා පරිණාමය වන ව්‍යාපාර සාර්ථකව පැවැතෙන්න හේතුවත් ඒකම තමයි.... අද දවසේ මෙරට නිමි ඇඳුම් වෙළඳාමේ දැවන්තයින් වන හවුස් ඔෆ් ෆැෂන්, තිළකවර්ධන, කැන්ඩි වගේ ආයතන පටන් ගත්තේ බොහොම පුංචියට.... මට මතකයි 1990දි විතර කිරිබත්ගොඩ තිළකවර්ධන එක තිබුණේ ඊරියවැටිය හන්දියේ තනි තට්ටුවේ පුංචි කඩයක් විදියට.... කැන්ඩි එකත් එහෙමයි.... මේවා දියුණුවෙනවා දැකලා කිරිබත්ගොඩ මන්සන්ධියේම 1998 දි විතර තට්ටු 7-8 ගොඩනැඟිලි කඩිමුඩියේ ඉදිවෙලා මහා පරිමාණ ඇඳුම් විලාසිතාගාර දෙකක් විවෘත වුණා.... ඒත් එහෙම වුණා කියලා තිළකවර්ධනවත්, කැන්ඩි වත් වැටුණේ නෑ.... අර අළුතෙන් පටන් ගත්ත මහා පරිමාණ විලාසිතාගාර දෙකම ආරම්භ වෙලා දශකයක් ඇතුලේ පාරිභෝගිකයින්ගෙන් ප්‍රතික්ශේප වෙලා වැහිළා ගියා.... අදටත් මේ ගොඩනැඟිලි දෙක පාළු වෙවී නගරය මැද්දේ තියෙනවා.....


මේ නිසා අපිටම කියලා හොඳ ව්‍යාපාරයක් පටන් ගනිද්දි නිවැරදි ව්‍යාපාර සංකල්පයක් තීරණය කරන්න ඕන.... ඒවගේ ම අපි විසින් තීරණය කරන ව්‍යාපාර සංකල්පය අපේ ආයෝජන වලට දරන්න පුළුවන් මට්ටමේ එකක් වෙන්න ඕන....කොච්චර ප්‍රාෙයා්ගික වුණත් අපිට දරාගන්න බැරි තරමේ ව්‍යාපාර සංකල්පයක් එක්ක අපේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න ගියොත් අපිව අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි. පුංචි ආයෝජනයකින් පුංචි විදියට පටන් ගන්න පුංචි ව්‍යාපාරයක ප්‍රතිලාබය පුංචි වුණත් කිසියම් මොහොතක අසාර්ථක වුණොත් තනියම දරාගන්න පුලුවන් මට්ටමේ තියේවි.... ඒත් තමන්ට දරන්න බැරි ව්‍යාපාරයක් කරන්න ගිහින් උපරිම සීමාව දක්වාම බාහිර ආයෝජන වලින් යැපෙන ව්‍යාපාරයක් කඩාවැටුණොත් ඒක දරාගන්න අපහසු වේවි... අපි කිසිම විදියකින් ව්‍යාපාරයක් ආරම්භ කරන මොහොතක කඩා වැටේවි කියන සෘණාත්මක දැක්මකින් ඉන්න එක හොඳ දෙයක් නොවුණත් සාර්ථකත්වයේදී අපි ගාව ඉන්න ඥාති හිත මිත්‍රාදීන්ගේ ඉඳලා ගණුදෙනු කරන බැංකුව දක්වා සියළු දෙනා අසාර්ථක වුණු මොහොතක අපි ව අත ඇරලා යන එක සාමාන්‍ය දෙයක්....

"තවත් කෙනෙක් නොකරන දෙයක් හොයාගෙන ව්‍යාපාරයක් කරන්න හිතුවොත් කවදාවත් ව්‍යාපාරයක් කරන්න වෙන්නේ නෑ..." කියලා අළුත් ව්‍යාපාර සංකල්ප ගැන ආධුනිකයින් එක්ක කතා කරන බොහෝ අවස්ථා වල ඔවුන්ගේ පැත්තෙන් මතුවන සරල තර්කයක්.... ඒක ගැන මෙහෙම කියන්නම්.... සම්මානනීය නවකතා හැමදාම බිහිවෙන්නේ නෑ.... සම්මානනීය චිත්‍රපට ගීත වුණත් එහෙමයි... ඒත් ආදරය ගැන එකිනෙකට වෙනස් ගීත කොච්චරනම් තියෙනවාද? එකිනෙකට වෙනස් විදියට ඒ ගීත වලින් ආදරය ගැන කොච්චරනම් කතා කරලා තියෙනවාද? ලෝක සාහිත්‍යෙය් ප්‍රකට කෘතියක් වුණු අම්මා කියන නවකතාව ලිව්වේ මැක්සිම් ගොර්කි. පහුගිය අවුරුද්දේ අම්මා කියන නවකතාව සිංහලෙන් ලියවුණා උපුල් ශාන්ත සන්නස්ගල ගුරුතුමා අතින්.... ඒත් ඒ දෙක දෙකක්....


ව්‍යාපාර අදහසුත් ඒවගේ.... එක්කෙනෙක් ආප්ප කඩයක් දැම්මා කියලා දෙවැනියාගේ ආප්ප කඩය පළමු එකම විය යුතු නෑ... පළමු කෙනා ආප්ප සමඟ ලුණු මිරිස් දෙද්දි දෙවැනියාට චිලි පේස්ට් දෙන්න පුළුවන්... ආප්ප
පිපෙන සෝඩා වර්ග වෙනුවට ස්වභාවික ක්‍රම භාවිතා කරන්න පුළුවන්.... රසායනික ද්‍රව්‍ය වලින් තොර ආහාර සඳහා ඇති කැමැත්ත මත ඒ වෙනුවෙන් වැඩි වටිනාකමක් ගන්නත් පුළුවන්.... ආප්පයේ ප්‍රමාණය, පිළිගන්වන
විදිය, ආප්ප විවිධාංගීකරණය කිරීම... (බිත්තර ආප්ප - පැණි ආප්ප - වණ්ඩු ආප්ප - චීස් ආප්ප ආදී විදියට) .... මෙන්න මේ විදියට ම පවතින ව්‍යාපාර සංකල්පයක් අළුත් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්.... ගම්පහට නුදුරු
ප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක් තියෙන නගරයක සාමාන්‍ය හෝටලයක් තියෙනවා... මේ හෝටලයේ ආප්ප සහ බිත්තර ආප්ප තියෙනවා.... හැබැයි තියෙන්නේ පැය දෙකයි.... හවස 4ට ආප්ප දාන්න පටන් ගන්නවා 6ට ඉවරයි..නගරයේ අනෙක් හෝටල් සියල්ලකම හවස 5 ඉඳන් රෑ 11 විතර වෙනකම් ආප්ප තිබුණට මේ හෝටලයේ පැය දෙකේ ආප්ප ගන්න / කාල යන්න පුදුම සෙනඟක් ඉන්නවා.... කොච්චර ඉල්ලුම තිබුණත් 6න් පස්සේ ආප්ප නෑ..ඒ වෙනස තුළින් ඔවුන් තමන්ගේ ආප්ප සඳහා සුවිශේෂි අනන්‍යතාවයක් හදාගෙන තියෙනවා....

“එක පාර ලොකු ලාභයක් ගන්න විශාල ලාභ පරතරයක් තියෙන ව්‍යාපාරයක් කරන එක ලේසියි... පොඩි ලාභ ගන්න දේවල් කරන එක කරදරයි...“ මේ විදියට හිතන අයත් ඉන්නවා... ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්...කාර් එකක් විකිණුවොත් - ඉඩමක් විකිණුවොත් අතරමැදියෙක් වීම තුළීන් ලොකු ලාභයක් ඉක්මනට ගන්න පුළුවන්... ඒත් ඒ වෙනුවෙන් දැන්වීම් දාන්න - පාරිභෝගිකයින් ආකර්ශණය කරන්න ලොකු මූලික වියදමකුත් අවශ්‍ය වෙනවා...ඒත් ගිනිපෙට්ටියක් ගැන හිතන්න... කිසිම දැන්වීමක් නැතිව විකුණන්න පුළුවන් - ස්ථාවර වෙළඳපොළක් තියනවා... මොකද ලංකාවේ ඉන්න දෙකොටියක් ජනතාව අතරේ දවසකට ගිනිපෙට්ටි ලක්ෂයක්වත් විකිණෙනවා.... එක කාර් එකක් විකුනන්න දවස් පහක් යනවා නම් ඒ දවස් පහට ලංකාව තුළ ගිනිපෙට්ටි ලක්ෂ පහක් වත් යනවා... මේ වෙළඳ පොළෙන් සියයක 1ක් තරම් පුංචි කොටසක් අත්කරගන්න නිෂ්පාදකයෙකුට එක ගිනිපෙට්ටියකින් රුපියල ගානේ තිබ්බත් මාසෙකට රුපියල් 30000/-ක ලාභයක් එනවා... ( මේ පුංචි උදාහරණයක් විතරයි... නිෂ්පාදනයක මිළකිරීම - ලාභ ගණනය සරල දෙයක් නොවෙයි.. ඒවෙනුවෙන් හිතන්න දේ බොහොමයි. අපි ඒ ගැන ඉදිරියේදි කතා කරමු.) ඒනිසා ලොකු ලාභයක් ලැබෙන ව්‍යාපාරයක් වගේම පුංචියට ලාභ ලැබෙන ව්‍යාපාරයක් වුණත් එකසේ වැදගත්......


“සේවා ව්‍යාපාරයක්ද නිෂ්පාදන ව්‍යාපාරයක්ද වඩා හොඳ....“ මේකත් අළුතෙන් ව්‍යාපාර සංකල්ප ගැන හිතන ගොඩක් දෙනා හිතන දෙයක්..... නිෂ්පාදන ව්‍යාපාර මඟින් අදාළ ව්‍යාපාරිකයා ලාභයක් ලබනවා වගේම
රටේ ආර්ථිකයටත් ඵලදායී යමක් එකතුවෙනවා... මොකද අපේ රටේ අපට අවශ්‍ය දේ අපිම නිපදවා ගැනීමෙන් රටක ආර්ථිකයේ දර්ශක වල සුබදායී වෙනස්කම් වෙනවා... ඒවගේම අළුත්ම නිර්මාණයක් තමන්ගේ
ව්‍යාපාරයක් විදියට නිෂ්පාදනය කරන්න හැකියාව ලැබුණොත් අපනයනය මඟින් විදේශ විනිමය අපේ රටට ලබාගන්නත් ඒක හේතු වෙනවා.... නිෂ්පාදන ව්‍යාපාරයක් වඩා වැදගත් වුණත් සේවා ව්‍යාපාරයක් අවතක්සේරු කරන්න බෑ...අලෙවිකරණය එහෙමත් නැත්නම් මාර්කටින් කියන්නේ නිෂ්පාදන ව්‍යාපාරයක ස්ථාවරත්වය වෙනුවෙන් වැදගත් සේවා ව්‍යාපාරයක්.... කෙතරම් නිෂ්පාදන තිබුණත් වැඩක් නෑ... හොඳ අලෙවිකරණ ව්‍යාපාරයක සහය නොලැබුණොත්.... ඒ වගේම තමා අලවිකරණ ව්‍යාපාරයකදී අපි සැළකිලිමත් වන්න ඕන අපි අපේ රටේ ජනතාවට අලෙවි කරන්නේ මොනවාද කියලා.... අධික ලාභයක් ලැබෙනවා වෙනුවට බාල ආනයනික නිෂ්පාදන අලෙවිකරනවා නම් සිදුවන්නේ අපේ රටේ මිනිස්සු දුප්පත් වීම.... ශරීරයට අහිතකර කෑම බීම විකුණනවානම් රෝගී වෙන්නේ අපේම රටේ ජනතාව.... මේ නිසා අවසානයේ අපේ බදු මුදල් ප්‍රතිශතය වැඩිවී රටේ සමස්ථ ව්‍යාපාර පද්ධතියම අවුල් වෙන්නත් පුළුවන්.... අපි කරන්නේ පුංචි දෙයක් වුණාට ඒක රටට ගොඩක් ලොකු විදියට බලපාන්න පුළුවන්....

තමන්ගේ දක්ෂතාවය තියෙන්නේ කුමන කේෂ්ත්‍රයේද කියලා අවබෝධ කරගෙන ඒ කේෂ්ත්‍රයෙන් ව්‍යාපාරයක් තෝරගත්තොත් තෘප්තිමත්ව ජීවිතය ගෙනියන ගමන් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්... අවශ්‍ය වෙන්නේ ටිකක් වෙනස් විදියට හිතන එක විතරයි.... ඔබ චිත්‍ර වලට දක්ෂ නම් චිත්‍ර අඳින එක ව්‍යාපාරයක් කරගන්න පුලුවන්.... නිකම්ම නිකම් දර්ශණ චිත්‍ර අඳිනවාට වැඩිය වටිනාකමක් ලැබෙන සජීවි පුද්ගල රූප ඇඳීම.... මෙරට ඓතිහාසික ස්ථාන- පක්ෂි රූප- වනසත්ව රූප වලට විශාල ඉල්ලුමක් හදාගන්න පුළුවන්.... පින්නවල වගේ තැනකදි සජීවිව අලි රංචුවක රූපයක් ඇඳල දෙන්න පුලුවන්නම් - සංචාරකයෙකුගේ හෝ ඔුව්නගේ පවුලේ අයගේ රූපයක් ඇඳලා දෙන්න පුළුවන් නම් හොඳ මුදලක් ගන්න පුලුවන් කම ලැබේවි. ඒ වගේම තමයි මංගල ඡායාරූපයක් වෙනුවට මංගල අවස්ථාව චිත්‍රයට නැඟීමට පෙළඹවීමක් හදන්න පුළුවන් නම් හොඳ ව්‍යාපාරික අවස්ථාවක් වේවි....


එලැඹෙන සතියෙදි උදාවන වෙසක් සමයේ පන්සලකට ගිහින් නිසංසලේ බලන් ඉන්න ඔබටත් අළුත් ව්‍යාපාරික අදහසක් නිර්මාණය වෙන්න බැරි නෑ... මේ මට ඒ විදියට පන්සලකදි ආව ව්‍යාපාරික සිතුවිල්ලක්... පන්සලක බෝමළුව ළඟ චෛත්‍යය ළඟ හා බුදුගෙය තුළ හඳුන්කූරු දැල්වීම සඳහා ඉඩක් වෙන්වෙනවා... ලංකාවේ මේ හැමතැනකම දැල්වෙන්නේ අ ඟල් අටක් විතර දිග නූල් දෙකකට අඩු ඝණකමින් යුත් අඩපැයක් පමණ දැල්වෙන කුඩා හඳුන්කූරු... ඒ වෙනුවට අඩි දෙකක් විතර දිග අඟල් කාලකට වැඩි ඝණකමක් තියෙන පැය දෙක තුනක් දැල්වෙන හඳුන්කූරක් නිර්මාණය කරන්න බැරිද? පෙම්වතුන් වෙනුවෙන් දල්වන්න හදවතක හැඩයට හඳුන්කූරක් හදන්න බැරිද? සැබෑ බුද්ධ ධර්මයේ හා ජනප්‍රිය බුද්ධාගමේ හරයයන් වෙනස් නිසා දැන් ගොඩක් දෙනෙක් පන්සල් එන්නේ ලෞකික ප්‍රාර්ථනා ඉටුකරගන්න.... තමන්ගේ ප්‍රාර්ථනා ඉටු වෙන නිසා ප්‍රාර්ථනා වගේ නමක් මේ හඳුන්කූරු වලට යොදන්න බැරිද? නානාප්‍රකාර වෙසක් සුබ පැතුම් පත් තියෙද්දි මේ වගේ අළුත් නිර්මාණයක් බැතිමතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න සදාචාරාත්මක ගැටළුවක් මතුවෙන එකක් නෑ.... ඔබටත් මෙවැනි ව්‍යාපාරික අවස්ථා / සංකල්ප හිතෙන්න පුළුවන්... ඒවා හැකි ඉක්මනින් සටහන් කොට තබාගන්න.... ඉන්පසු නිස්කලංක මොහොතක ඒවා නැවැත නැවත සිතමින් අවශ්‍ය විදියට සංවර්ධනය කරගන්න... හොඳ වා්‍යාපාරයක් වෙනුවෙන් ඒක ගොඩක් වැදගත්වේවි.

ව්‍යාපාරික ලෝකයේ සැරිසරන ඔබට අත්වැලක් වෙන්න මේ පුංචි තීරු ලිපිය ඔබට වැදගත් වුනානම් ඒක තමයි මගේ සතුට... ව්‍යාපාරිකයෙකු විදියට ඔබට හිතන්න උවමනා තවත් දේවල් ගැන ඊළඟ කටගැස්මෙන් කතාකරමු.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum