සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

මුස්ලිම් සහ දෙමළ අයට මෙන් සිංහලයාට බිස්නස් බැරිද? Empty මුස්ලිම් සහ දෙමළ අයට මෙන් සිංහලයාට බිස්නස් බැරිද?

Sat May 18, 2019 6:41 pm
මුස්ලිම් සහ දෙමළ අයට මෙන් සිංහලයාට බිස්නස් බැරිද? Store-10


අප දෙතුන් දෙනෙකු දැනට වසර කිහිපයකට පෙර දිනයක සුප‍්‍රකට වැව් බැම්මක් මත සන්ධ්‍යාවක් ගත කරමින් සිටියෙමු. සිංහල ව්‍යාපාරිකයෙකු, රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු සහ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු ද සහිත අපගේ පිරිස අතර කතාබහට මාතෘකාව වී තිබුණේ රටේ එල් ටී ටී පරාජයට පෙර සහ දැන් තිබෙන තත්ත්වය පිළිබඳවය.

මේ අවස්ථාවේ දැඩි සිංහල ජාතිවාදියෙකු වූ අපගේ ව්‍යාපාරික මිතුරාත්, යුද බිමෙහි කොටින්ට එරෙහිව සටන් වැදුනෙකු වූ හමුදා නිලධාරියාත් පැවසුවේ ප‍්‍රභාකරන් යනු ශී‍්‍ර ලංකාවට එතරම් විශාල තර්ජනයක් නොවූ බවත්, ඊට වඩා භයානක තර්ජනයක් අප හමුවේ ඉතිරිව ඇති බවත් ය. ඔවුන් දෙදෙනාගේ ම අදහස වුවේ ඉතා ශීඝ‍්‍රයෙන් පැතිරෙන මුස්ලිම් ආධිපත්‍යය හමුවේ, ප‍්‍රභාකරන් විසින් සිදු කරනු ලැබූ ඊළාම් දිනා ගැනීමේ සටන සුළු කොට තැකිය හැකි බවය.

මේ පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරීමේ දී ව්‍යාපාරික මිතුරා විසින් වඩාත් ම අවධාරණය කරනු ලැබුවේ මුස්ලිම් ජාතිකයින් ඉතා සියුම් ලෙස සිංහල ව්‍යාපාරිකයා අභිබවා ඉදිරියට යමින් සිටින බවයි. මේ හේතුවෙන් ඔවුන් තුළ ඇති මුල්‍යමය ශක්තිය, සිංහල ජනතාව අභිබවා තමන්ගේ ජාතිය ව්‍යාප්ත කරවීමට උපයෝගී කර ගන්නා බව මෙහි දී වැඩි දුරටත් කියවුණ කරුණකි. මේ පිළිබඳ ඔවුන් දෙදෙනා විසින් පෙන්වා දුන් උදාහරණ ගණනාවක් විය.

යම් පමණක ආර්ථීක ස්ථාවරත්වයක් ඇති ඉන් පළමු වැන්නාගේ අදහස වූයේ හැම මුස්ලිම් ජාතිකයෙකු ම තමන්ගේ ජාතියේ අයෙකුට ආර්ථීක වශයෙන් ගොඩ එ්මට කුමන හෝ වැඩ පිළිවෙලක් දියත් කරන බවය. එය හුදු මූල්‍යමය ආධාරයක් පමණක් නොව ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය දැනුමද සහිතව කි‍්‍රයාත්මක වන්නක් යයි ඔව්හු පෙන්වා දුන්හ. අප අතරට එක්වූ තවත් අයෙකු පැවසුවේ කඳුකරයේ ඇතැම් පල්ලි තුළ ලාබාල තරුණයින් උදෙසා මෙවැනි දැනුවත්වීම් සිදු කෙරෙන බව ය. කඳුකරයේ ප‍්‍රසිද්ධ නගරයක එක් වීදියක ඒ කොණේ සිට මේ කොණ දක්වා මුස්ලිම් කඩවලින් පිරී ගියේ ඒ අනුව බවද, ඔහු පෙන්වා දුන්නේ ය. එමෙන් ම මහනුවර නගරයේ සිටි සිංහල ව්‍යාපාරිකයින්ගෙන් දැන් ඉතිරිව සිටින්නේ දෙතුන් දෙනෙකු බවද එහි ආධිපත්‍යය මුස්ලිම් වෙළඳුන් අතට ගොස් ඇතැයි ද පැවසූහ.

නමුත් මේ සාකච්ඡුාවේ දී මට ඇති වූ ප‍්‍රශ්නය වූවේ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව පිණිස රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් ක‍්‍රමවේදයක් මගින් සුවිශේෂ පහසුකමක් ලැබෙනවාද යන්න ගැනය. උදාහරණයක් වශයෙන් මා පෙන්වා දුන්නේ සිංහල හෝ ද්‍රවිඩ ජාතිකයින්ට වඩා ඔවුනට විශේෂ අඩු පොළියකට බැංකු ණය ලබාදීම හෝ තීරු බදු සහිතව භාණ්ඩ අපනයනය කිරීමේ බී ඕඅයි පහසුකම් ලබාදීමේ වැඩ පිළිවෙලක් තිබෙනවාද යන්නය. මක්නිසා ද යත් එවැන්නක් සිදුවේ නම් එය පැහැදිලිව ම සෙසු ජනතාවට ද කරනු ලබන අසාධාරණයක් මෙන් ම භයානක කුමන්ත‍්‍රණයක් ද වන බැවිනි. මඳක් නිහඬව සිටි ඔව්හු පැවසුවේ එවැන්නක් සිදු නොවන බවය.

එසේ නම් මේ ආකාරයට ඔවුන් ව්‍යාපාරික ලොවේ යම් ආධිපත්‍යයක් දිනා ගැනීමට හේතව කුමක්දැයි මම යළිත් විමසුවෙමි. මා එසේ විමසුවේ තමන්ගේ සේවාව හෝ භාණ්ඩය අලෙවි කිරීමේ කාර්යය අතින් පෙරමුණ ගැනීමට නම් යමකු හෝ යම් කොට්ඨාශයක් තුළ ඒ සදඟා සුවිශේෂී හැකියාවක් තිබිය යුතු බැවිනි. මඳ සිනාවකින් යුතුව එයට පිළිතුරු වශයෙන් ව්‍යාපාරික මිතුරා පැවසුවේ ‘‘ඒ අය කපටි විදියට සිංහල පාරිභෝගිකයා රවට ගන්නවා’’ කියා ය. නමුත් ඒ කපටි විදිය කුමක් දැයි යන්නට ඔහු පිළිතුරු දෙන්නට උත්සාහ කරනු ලැබුවේ අපගේ සාකච්ඡාව දියාරු මට්ටමකට ගෙන එමිනි.

‘‘ඒක ඉතින් අපේ රටේ හැම කෙනෙක් ම දන්න දෙයක් නේ, සිංහල කඩේකටයි මුස්ලිම් කඩේකටයි ගිහින් බලන්න. සිංහල කඩේ උදවියට වඩා කොයි තරම් චාටුවෙන් කතා කරල තමන්ගෙ බඩුව විකුණා ගන්න ඒ අය දන්නවා ද කියල. ඒ තමයි මුස්ලිම් වෙළෙන්දාගේ ප‍්‍රධාන ආයුධය’’ කියාය. එතැන් සිට අපගේ සාකච්ඡාව සිදුවුණේ මුස්ලිම් වෙළෙන්දෙකුගේ ‘‘චාටුව’’ යයි කියන ඔය කාරණා පැහැදිලි කර ගැනීම පිණිස ය.

තමාගේ ව්‍යාපාරික ස්ථානයට හෝ තේ කඩයට පැමිණෙන පාරිභෝගිකයා වෙත කටපුරා සිනාවක් පා ‘‘ආ එන්ඩ මාතියා’’ කීම එකකි. තේ කඩයක් හෝ හෝටලයක් නම් වේටරයා බණවා ‘‘මේ මාතියාට ඕනෑ දේවල් දීපන්’’යයි අණ කිරීම තවත් එකකි. රෙදි කඩයකට ගොඩ වූ විට ගත්තා හෝ නොගත්තා හෝ තමා සන්තකයේ ඇති සියළුම සාරි, හැට්ට, සළුපිළි ඇද පෙන්වීමත්, අල්පෙනෙත්තක් තරම් දෙයක් නොගත්තා වුවත්, හිස නමා සිනාසී ‘‘හොඳයි නෝනා ගිහින් එන්න’’ යයි පැවසීමත් තවත් කාරණවකි. මේ කඩසාප්පු ව්‍යාපාරයට අමතර වෙනත් කටයුත්තක දී තමා කොතරම් කාර්ය බහුලව සිටියත් පැමිණි පාරිභෝගිකයා දුටු බවත්, ඔහු පිළිත් බවත්, හැඟවීමට සමත් වීම ඊළඟ කාරණය වේ.

මේ ආකාරයට මගේ ව්‍යාපාරික මිතුරා විසින් මුස්ලිම් ජාතිකයාගේ චාටුව ලෙස පෙන්වා දෙනු ලැබුවේ ඔහු සිය පාරිභෝගිකයා ගණන් ගත් බවත් ඔහුට ගරු කළ බවත්, පෙන්වීමට ගත් උත්සාහයන් ය. මේ කතාබහ අවසානයේ අකමැත්තෙන් වුවත් අප හැම දෙනාටම පිළිගැනීමට සිදුවූ කාරණාව වූවේ සිංහල ව්‍යාපාරිකයා විසින් අනුගමනය නොකරන මේ සියලූ කාරණා මුස්ලිම් ව්‍යාපාරිකයා තම දියුණුව උදෙසා මැනවින් යොදා ගන්නා බවය.

මේ කතාබහ සියල්ලට නිහඬව සටන් දෙමින් සිටි මා සමඟ ගිය නිලධාරී මිතුරා අවසානයේ මෙවැනි ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේ ය. එනම් ‘‘නමුත් ළඟට එන පාරිභෝගිකයා සිනාවකින් පිළිගන්නටවත් ඔහුට ගෞරව කරන්නටවත්, එයාගේ ආත්ම ගෞරවයට හානියක් නොවන විදියට හැසිරෙන්නටවත් සිංයල වෙළෙන්දාට කවුරුවත් එපා කියල නැහැ නේ ද? යන්නයි. අප කාතුළවත් නිසි පිළිතුරක් නොවූ මෙම ප‍්‍රශ්නයත් සමඟ අපගේ සාකච්ඡාව නිමා විය.

එනමුදු බස් රථයෙන් එදිනෙදා ගමන් බිමන් වල යෙදෙන මධ්‍යම පන්තිකයෙකු වශයෙන් මේ පිළිබඳව බොහෝ කාරණා මෙන්ම ඒ තරමට ම වූ අත්දැකීම් ද මා තුළම ආවර්ජනය කෙරෙන සාකච්ඡාවක තත්ත්වයට එය පත් වූ බව කිව යුතු ය.

සිංහල ද මුස්ලිම් ද ද්‍රවිඩ ද යන බේදයකින් තොරව කල්පනා කර බලන කල මුස්ලිම් ජාතිකයා විසින් අපට කියා දෙනු ලබන්නේ ධනාත්මක චින්තනය අරබයා අත්‍යාවශ්‍ය පාඩමකි. තවත් පැත්තකින් අලෙවි කරණය උදෙසා හොඳ පූර්වාදර්ශයකි. ඒ දෙකරුණම ඉවත් කරනු ලැබුවත් හොඳ මානුෂික ගතිගුණයකි. ඉතින් සිංහලයාට වඩා මුස්ලිම් ජාතිකයාට ව්‍යාපාරිකයෙකු ලෙස දියුණුව කරා ගමන් කිරීමට උපයෝගී වී ඇත්තේ මේ කාරණා නම්, ඉන් කියවෙන්නේ අපේ මිනිසා (මමද සිංහලයෙකු නිසා එසේ කියමි* එසේ නොකරන බව නොවේ ද?.

අකමැත්තෙන් වුවත්, අසීරුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ සිංහල ව්‍යාපාරිකයින්ගෙන් ඉතා වැඩි දෙනෙකු පාරිභෝගිකයා වෙනුවෙන් නිසි ගෞරවය නොදක්වන බවය. ගෞරවය නොදක්වනවා පමණක් නොව, බොහෝ විට ඔහුව අවමානයට ද ලක් කරනු ලබයි. මෙය ඉතාමත් හොඳින් දැකගත හැකි වන්නේ අද වන විට දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවාව තුළ දීය. මගියකු බස් රථයට ගොඩ වූ මොහොතේ සිට ම, ප‍්‍රවේශපත‍්‍රයක් නොදීමෙන් ඔහුට හිමි අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන අතර, එය ඉල්ලා සිටීම පවා මගියා විසින් කරනු ලැබූ වරදක් ලෙස සලකන්නට පෞද්ගලික බස් කොන්දොස්රතවරු පුරුදු වී සිටිති. ඒ හැරුණු කළ ඉතාමත් නින්දිත ලෙස මගියාගේ ඉතිරි සල්ලි රුපියල දෙක බැගින් ගසා කෑමටත්, තමාට හිතුණ හිතුණ ආකාරයට මගීන් නංවා ගැනීමට පිණිස ප‍්‍රමාදවීමටත් යොමු වී සිටින මෙම බස් සේවකයෝ මගීන්ට සලකනු ලබන්නේ මුදල් ගෙවා තම සේවා අයිතිය ලබාගත් පිරිසක් ලෙස නොව, තමන්ව නැතිවම බැරි තත්ත්වයට පත්ව සිටින අසරණයින් කොටසක් වශයෙනි. බස් මඟියා යනු ඔවුනට ‘කෑල්ලක්’ පමණකි. මහජනතාවගේ මුදලින් වැටුප් ගන්නා පොලිසිය, රෝහල මෙන්ම වෙනත් රාජ්‍ය ආයතන පවා තමාගේ සහෝදර ජනතාව වෙනුවෙන් දක්වනු ලබන්නේ අධිපතිවාදී මානසික ස්වභාවයක් විනා ගෞරවණීය හැඟීමක් නොවේ. මේවා අතරින් රාජ්‍ය බැංකු දෙක තුන යම් පමණකට වෙනස්ව සිටින්නේ තරගකාරී බැංකු ගණනාවක් අද බිහිවී සිටින බැවින් විනා පුද්ගල ආකල්පයන්ගේ දියණුුවක් නිසා නොවන වඩා පැහැදිලි ය.

මේ ආකාරයට සිංහලයා විසින් ම සිංහලයාට පාට් පෙන්වන අවස්ථා ඇත්තේ මෙකී මහා පරිමාණ ආයතනවල පමණක් නොව, එය නගරයේ අතුරු වීදිවල පිහිටා ඇති පෙට්ටි කඩයේ සිට දිවයින පුරා පිහිටි සාමාන්‍ය ජනයා ගැවසෙන තේ කඩ හෝටල්වල කැන්ටීන් වෙනත් පාරිභෝගික භාණ්ඩ අලෙවි සැල් ආදී දහසකුත් එකක් ව්‍යාපාරික ස්ථාන පුරා වූ බොහෝ සේවක කාරකාදීන් වෙතින්ද දැක ගත හැකි දෙයකි.

මෙය වැඩිපුර ම දැකගත හැක්කේ සාමාන්‍ය ප‍්‍රමාණයේ හෝටල් තුළිනි. ඔබ හෝටලයට ඇතුළු වූ බව කැෂයිර්ගේ නෙත ගැටුණ ද ඔහු පාරිභෝගිකයා දුටු බවක් හෝ හඟවන්නේ නැත. මේසයක් අසල වාඩි වී වටපිට බලද්දී වේටර් වරයෙකු හෝ දෙන්නෙකු සිටියද කැඳවීමක් කරන තුරු පැමිණෙන්නේ නැත. එසේ පැමිණුනද උඩඟු බැල්මකින් යුතු සමහරු උවමනා මොනවාදැයි විමසන්නේ කටින් නොව හිසින් සහ ඇස් දෙකින් පමණි. එවිට ඔබ ‘‘ප්ලේන්ටියක් ගේන්න’’ යයි ඉල්ලා සිටින්න. බොහෝ විට ඔහුගේ මුහුණෙන් පළවන්නේ ‘‘අයියෝ ප්ලේන්ටියක් ද? හැරුණු එකටත් පාඩුවක්’’ වැනි උද්දච්ඡු හැඟීමකි. ඉන්පසු ප්ලේන්ටිය රැගෙන එන ඔහු මේසය මත තබන්නේ යමෙකුට ආහාර පානයක් පිළිගන්වන ආකාරයේ හැඟීමකින් නොවේ. එහි ඇත්තේ හිර කාරයෙකුට කෑම පිඟානක් විසි කරන ආකාරයට වඩා මද වෙනසක් පමණකි.

බොහෝ විට ඉඳුල් භාජන පිරුණු අත සෝදන කෝප්ප සහිත මේසයක වාඩිවීමට සිදුවන පාරිභෝගිකයාට, සේවකයා පැමිණ එ්වා අස්කරන මේසය පිස දමන අවස්ථාව ඉතා තීරණාත්මකය. මන්ද යත් එම ආහාර කැබලි ඉඳුල් වතුර පාරිභෝකයාගේ ඇඳුමට වැටේ යයි යන්න ගැන ඔහු තුළ කිසිදු තැකීමක් නැති බැවිනි. බොහෝ හෝටල් සේවකයින් ඇවිදින, කතා කරන සේවය සලකන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ පැමිණෙන පාරිභෝගිකයාගෙන් ඔවුන් යම් ගෞරව බහුමානයෙන් බලාපොරොත්තුවෙන් සේවයේ යෙදෙන ආකාරයයි. එය ඉතා හොඳින් දැකගත හැක්කේ ආපන ශාලාවක කෝප්පයක් පිරිසියක අපිරිසිදු කමක් දැක ඒ ගැන පැමිණිල්ලක් කළ විටය. ඔහු එය සලකන්නේ එය තමා විසින් සමාව ඉල්ලිය යුතු කාරණයක් වශයෙන් නොව, තමාට කළ අවමානයක් වශයෙන් බව වේටර්ගේ මුහුණ දෙස බැලීමෙන් ඉති පැහැදිලිව වටහා ගතහැකිය. මිනිසෙකුගේ කයට මෙන් ම, මනසට ද බලපාන දෙයක් වන ආහාර පානයකින් සන්තර්පණය වීමේ කටයුත්ත මෙවැනි හෝටල් ආදිය තුළින් සියයයට විසිපහක්වත් සම්පූර්ණ කර ගන්නා පාරිභෝගිකයින් සිටිදැයි මම නොදනිමි.

එවැනි තත්ත්වයක් යටතේ මුස්ලිම් හෝ දෙමළ ජාතිකයෙකගේ තේ කඩයක් හා තරග කරන්නට සිංහලයා සිතන්නේ නම් එය බරපතල මෙන්ම වහා නිවැරදි කරගත යුතු වැරදීමක් ද වන්නේ ය.

මේ පිළිබඳ ඊළඟ කතාව බොහෝ විට ඇඳුමක් පැළඳුමක් ගන්නට සාමාන්‍ය සාප්පුවකට ගොඩවන අප රටේ කාන්තා පක්‍ෂයෙන් අසාගත යුතු එකකි. ඇඳුම් පැළඳුම් අරබයා වූ කාන්තාවන්ගේ මනෝභාවය වූ කලී තමාට මිලදී ගතහැකි වූවා හෝ නොවූවා හෝ සාප්පුවේ ඇතිතාක් රෙදිපෙරදි ගැන විමසා බැලීමය. එය කල්ගත වන කාර්යයකි. එසේ කිරීමෙන් පසුව වුවද, ඇය ඒ කිසිවක් නොගෙන පිටවී යාමටද ඉඩ ඇත. එය ගැහැණුන්ගේ හැටියක් වන අතරම පාරිභෝගිකයකු ලෙස ඇගේ අයිතියක් ද, වෙයි.

මේ කාරණා දෙකම සිංහල ව්‍යාපාරිකයා මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයා ද දනිති. නමුත් සිංහල ව්‍යාපාරිකයා නොදන්නා කරුණක් තිබේ. එයනම් සාප්පුවේ ඇතිතාක් සාරි අත ගා බලා කිසිවක් නොගත් කාන්තාවක් වුවද, ඇය මතු දිනක තම සාප්පුවට පැමිණෙන ආකාරයට කටයුතු කළයුතු බවයි. ඒ සඳහා කළයුතුව ඇත්තේ තමාගෙන් කිසිවක් මිලදී නොගත්තා කියා ඇය සමඟ කිසිදු අහිතක් නැති බව පෙන්වා සිනාසී සමුදීම පමණි. මුස්ලිම් වෙළෙන්දාගෙන් එවැනි ප‍්‍රතිචාරයක් ලැබෙන අතර, සිංහල වෙළෙන්දාගෙන් ලැබෙන්නේ අවඥ සහගත උඩඟු අහංකාර බැල්මක් සහ අනික් සේවිකාවන් සමඟ කෙරෙන සමච්චල් ඉඟි සහ ඔච්චම් සිනාවක්ද පමණි.‘‘තුට්ටු දෙකට සාරි ගන්න එන හිඟන්නියෝ’’ යන අදහසක් ඒ තුළ ඇතිබව අපට වඩා හොඳට කාන්තාවන්ට තේරුම් යනවා ඇත. ඒ වගේම ඇය නැවතත් සිංහල වෙළන්දාගේ කඩය පසුකර මුස්ලිම් වෙළෙන්දාගේ සාප්පුවට වෙත යයි එහිදී ඇය පිළිගන්නා සේවක සේවිකා පිරිස ඇයගේ අවශ්‍යතාවය අනුව මෙසේද අසයි ‘‘නෝනාට උවමනා කොපමණ මිලක සාරියක්ද? ’’ එසේ අසන ඔවුන් ඇගේ අවශ්‍යතාවය හැකි අයුරින් ඉටුකරදීමට උත්සාහ ගනිති. මෙය බොහෝ කාන්තාවන් මුහුණ දී ඇති තත්ත්වයකි. මුස්ලිම් වෙළෙදුන් අතර ඇති මෙම වෙළෙඳ සහයෝගතාවය පාරිභෝගික පිරිසගේ අවශ්‍යතා සඳහා බොහෝවිට උපකාරී වී ඇති අතර, එයට ශී‍්‍ර ලාංකික ස්තී‍්‍ර පක්‍ෂය තුළ ඇත්තේ ඉහළම අගයකි.

සිංහල වෙළෙන්දාට අනන්‍යවූ මේ සිතාගත නොහැකි අහංකාරකම අපට දැකබලා ගත හැක්කේ ඉහත කී ස්ථාන දෙකින් පමණක් නොවේ. බොහෝ සිල්ලර කඩ, ෆාමසි, ග්‍රොසරිස් එළවළු කඩ මාළු කඩ ආදිය තුළදී එවැන්නක් දැකබලා ගැනීමට ඔබට අවස්ථාව උදාවනවා ඇත.

මේ ලියන මොහොතේ මට කතා කළ මිතුරෙකු පැවසුවේ අනුරාධපුරයේ විවාහ මංගල්‍යයකට ගොස් එන අතරේ ආප්පයක් කා තේ බීමට ගල්ගමුවේ සිංහල කඩයකට යාමෙන් අනතුරුව ඇති වූ ගෝරියක් ගැනය. සිංහලකම ඉස්මතු වූ නිසා මුස්ලිම් කඩයේ මුදලාලි කතා කරද්දී ඔවුන් සිංහල කඩයට ගොඩ වී ඇත. එහි සිටි වේටර්වරු තුන් හතරදෙනා ගෙන් එකකුට කතා කොට අමාරුවෙන් ළඟට ගෙන්වා ගෙන උණු ආප්ප ගෙනෙන ලෙස කියා ඇත. ඔව්හු මේසයේ ඉතිරි ව තිබූ ආප්ප දෙක තුන මතට උණු ආප්ප තුනක් දමා ගෙනවිත් දී තිබේ. ඒ පරණ ආප්ප වල යම් සතෙකු ද මැරී සිටි අතර, ගෝරියට මුල් වී ඇත්තේ එයයි. මේ පිරිස ඊළඟ දවසේ දී ගල්ගමුවේ නොව වෙන තැනකදී හෝ ආප්ප කෑමට සිංහල කඩයකට යන්නේ, එහි මුස්ලිම් කඩයක් නැතිනම් පමණි.

මා කුඩා කාලයේ දී බඩු ගෙන යාමට පැමිණෙන එක්තරා කඩයක මුදලාලි කෙනෙකු එක් අයෙකුට බඩු කිරමින් සිටින විට තව කෙනෙක් පැමිණීම නුරුස්සන්නෙකි. ඔහු අපට පෙනුණේ එක් අයෙකු බඩු රැගෙන ගිය පසු අනෙකා පැමිණිය යුතු බවයි. මේ නිසා ඔහු එක් අයෙකුට බඩු කිරනවිට තව කොතෙක් පිරිසක් පැමිණ සිටියත් ඇස් කොණින් හෝ ඔවුන් දෙස නොබලයි. තමා ලෝකයේ ඇති භාරදූරම කාර්යයේ නිරතවන්නෙකු සේ ආඩම්බරකමක් මුහුණට නඟා ගනී. මුන් හිටියත් එකයි, නැතත් එකයි යන හැඟීමෙන් යුතුව කිසිදු කඩිසර බවක් නොපෙන්වා ඕනෑවටත් වඩා සීරුවෙන් වැඩ කරයි. යම් හදිසි වූවකු ‘‘මුදලාලි මේ…….!’’ යයි පැවසුවහොත් යටැසින් ඔහු දෙස බලා කටයුත්ත තවත් පමා කරන්නේ රාක්කයේ කැවිලි පිසදෑමීම වැනි කටයුත්තකට ද මදකට යොමුවෙමිනි. මේ පුද්ගලයා අරබයා තරාදි පඩියකින් දමා ගැසීමේ කේන්තියක් ජනිත වූවා විනා, එය මොකක්දෝ මානසික රෝගයක් විය හැකි යයි කුඩා අපට සිතුණේ නැත.

තවත් කඩයක දී මා ලැබූ අත්දැකීමක් මෙසේ ය. මිතුරෙක් සමඟ හදිසි ගමනක් යන අතරේ එක්තරා කඩයකට ගොඩ වූවේ ජින්ජර් බියර් බෝතල් දෙකක් ගැනීම පිණිස ය. කඩයට ගොඩවන විට තවත් පුද්ගලයෙකු හා කතාබහක යෙදී සිටි මුදලාලි මහතා ‘‘මොනවාද උවමනා’’ යයි මගෙන් විමසසුවා ය.‘ජින්ජර් බියර් බෝතල් දෙකක්’’ යයි පැවසූ මම මුදල් ද ඔහු වෙත දිගු කළෙමි. ‘‘පොඞ්ඩක් ඉන්න. පුළුවන්දැයි’’ පැවසූ ඔහු යළිත් අනෙකා හා කතාබහ ආරම්භ කළේ ය. ඒ අතර කඩයට ආ තව දෙතුන් දෙනෙකු ආපසු හැරී ගිය අතර, කොතරම් නොඉවසිලිමත් වුවද, මම එක දිගටම එහි රැඳී සිටියෙමි. විනාඩි පහකට පමණ පසුව හදිසියේ ම නින්දෙන් අවදි වූවෙකු මෙන් මා දෙසට හැරුණු ඔහු යළිත් ඇසුවේ මොනවාද ඕනෑ’’ කියා ය. ‘‘ ජින්ජර් බියර් දෙකක්’’ මම යළිත් පැවසුවෙමි. ‘‘ආ ජින්ජර් බියර් අපි ළඟ නැහැනේ’’ ඔහු කිසි ගණනක් නැතිව පවසා වෙන වැඩක නිරත විය. මෙවැන්නෙකු හැඳින්විය යුතු ආකාරයත්, ඒ අවසුථාවේ දිය යුතු පිළිතුරුත් ඔබලාගේ හදවත් තුළ මේ මොහොතේත් ගොඩනැෙඟනවා සිකුරුය.

මා බොහෝ විට හාඞ්වෙයාර් ස්ටෝර්ස් වලදී ලබා ඇති අත්දැකීමක් නම් සේවකයින් දෙදෙනෙකු සිටිනවානම් මුදලාලි පාරිභෝගිකයා සමඟ ගනුදෙනු කතා කිරීමෙන් වැළකී සිටින ආකාරයයි. සමහර මුදලාලිලා මේසයට නැඹුරු වී කරබාගත් මුහුණින්ම යුතුව ඇඟිල්ල දිගුකර තම සේවකයා අපට පෙන්වයි. ඒ හැරුණ කල සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානවලදී දක්නට ලැබෙන පොදු අත්දැකීමක් නම් තමන් අලෙවි කරනු ලබන භාණ්ඩය පිළිබඳ ව නිසි හැඳින්වීමක් කළ හැකි සේවක සේවිකාවන් තෝරා ගැනීමට හාම්පුතුන් අසමත් වී ඇති බවය. එය හොඳින් ම වටහාගත හැක්කේ පොත් සාප්පුවකට ගොඩ වී ඇතැම් පොතපතක් ගැන විමසීමක් කරන කල්හි ය. සමහර කඩ සාප්පුවලදී යම් වටිනා භාණ්ඩයක් ගැන විමසන කල්හි බොහෝ සේවක සේවිකාවන් එකිනෙකා මුහුණු බලා සරදම් ලෙස සිනහාවන ආකාරයත්, අහංකාර පරවශ ලෙස පිළිතුරු දෙන ආකාරයත් කොතෙක් අශෝභනද යත්, නැවත එවැනි ස්ථානයකට ඒ පාරිභෝගිකයා නොයෑමට තීරණය කිරීමෙන්ම පෙනී යයි.

මේ අයුරින් අපගේ ප‍්‍රස්තූන මාතෘකාවට අදාළව උදාහරණ උවමනාවටත් වඩා සැපයිය හැකි අතර, මෙම ලිපිය කියවන ඔබ තුළ ද එවැනි අවස්ථා සිහිපත් වෙනවා විය හැකිය. ඔබ කොයිතරම් සිංහලකම වෙනුවෙන් දිවි පිදීමට සුදානම් අයෙකු වුවත්, වැඩිපුරම සිංහලයාගේ කකුලෙන් අඳින්නේත්, සිංහලයාට හානි කරන්නේත් සිංහලයාම බව පෙනී යනවා ඇත.

ගම්මිරිස් වෙනුවට ගස්ලබු ඇට ද, මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු ද, කෝපි වෙනුවට කරුංකා පවුඩර්ද තව මාළු සඳහා ෆෝමලින් ද ආදී වශයෙන් සකල විධ ආහාර පාන සඳහා තම ජාතියම බෙලහීන කරනු ලබන රසායනිකයන් යොදන්නේ කවුරුන් විසින් ද? වැඩි වශයෙන් ඔවුනොවුන් මරා ගන්නේ කවුද?

සිංහයෙකුට දාව මනුස්ස දුවකගෙන් උපන් ජාතියක් යයි යන ඔලමොට්ටල අදහසවත් බිම තැබීමට ශක්තියක් නැති අපි ඉන්දියාවෙන් ගොඩබට විජය ලක් රජය පැහැර ගැනීමට කුවේණි අරබයා සිදුකළ පාහර ක‍්‍රමවේදය පමණක් තම ජාතිය උදෙසාද කි‍්‍රයාත්මක කරමින් සිටින තාක් කල් බිස්නස් මතු නොව මොනම දෙයකින් වත් ජයගත හැකි යයි සිතිය නොහැක.

නමුත් සිංහල ව්‍යාපාරිකයින් සතු මේ උද්දච්ඡ තත්ත්වයට බලපාන ලද ආසන්නම මනෝ විද්‍යාත්මක හේතුව ලෙස පෙනී යන්නේ එය දශක පහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇති වූ යටත් විජිත මානසික තත්ත්වය බවයි. මේ කාලය මුළුල්ලේ විදේශිකයින් තුන් වර්ගයක් ඉදිරියේ කශේරුකාව නැවීමෙන් ලද පීඩාව, තමාට පහළින් සිටින තමාගේ ම මිනිසුන්ට ම පෙන්වා පහකර ගැනීමේ පුරුද්ද ජානගතව පැතිර එන බවක් පෙනී යයි. පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ළඟ සිට දේශපාලනඥයින්ට ගොටු අල්වා ඉහළ තනතරු ලැබූ සියලූ නුසුදුස්සන් තුළ දක්නට ලැබෙන්නේ එයයි. එය බරපතල හීනමානයකි. නමුත් මේ ප‍්‍රස්තූනය ගැන කතා කරද්දී ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයා තරමටම අමතක නොකළ යුතු තවත් පිරිසක් ද වෙයි. ඒ දකුණෙන් කොළඹට සිංහල ව්‍යාපාරිකයා ය. පාරිභෝගිකයා දිනා ගැනීමෙහි ලා මුස්ලිම් ව්‍යාපාරිකයාට යම් හා තරගයක් දියහැකි නම් ඒ හැකියාව ඇත්තේ මොවුන් තුළ පමණි. කොළඹ දිස්ති‍්‍රක්කය ආශී‍්‍රත ප‍්‍රදේශවල මෙන් නොව යටත් විජිතවාදීන්ට අඩුවෙන් ම ගැතිකම් කළ මිනිසුන් වූ බැවින් ද ඔවුන් තුළ පෙර කී හීනමානය ඇත්තේ ඉතා අඩු වශයෙනි. සිය පාරිභෝගිකයාට සිනාහවකින් සංග‍්‍රහ කිරීම හෝ මානුෂිකව කතා කිරීමෙන් අනකාගේ සිත දිනා ගැනීමට ඔහු සමත්ව ඇත්තේ එහෙයිනි. අනෙක් පළාත් වලදී සිංහලයා අතින් වැඩිපුරම පීඩාවට පත් වන්නේ සිංහලයා වුවත්, දකුණේ මිනිසා තුළ තවමත් දකුණේ එකකුට අදින ගතියවත් ඉතිරිව ඇත. එය හෝ සතුටට කරුණකි.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙම ලිපිය ආරම්භ කළ කාරණය අරබයා අපි යළිත් කල්පනා කරන්නේ නම් මුස්ලිම් ජාතිකයින්ට හා ද්‍රවිඩ ජාතිකයින්ට වාගේ සිංහලයාට බිස්නස් බැරි ඇයිද යන්න අප වටහා ගත යුතු ය. කළ යතුව ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයා සිංහල ව්‍යාපාරිකයා අභිබවා ඉහළ යාම ගැන සුසුම් හෙළීම නොව, ඒ ආකාරයට හා දරුපවුල ජීවත් කරවීමට උදව්වන පාරිභෝගිකයාට ගෞරව කිරීමය. එසේ කිරීමට හිත හදා ගැනීමට තරම් උද්දච්ඡුකම පහව ගොස් නැතිනම් අඩු තරමින් පාරිභෝගිකයාට අගෞරව කිරීමෙන්වත් වැළකී සිටිය යුතු ය.

ටී.අලකේෂ්වර
( සංවාදයට විවෘතයි)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum