සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

සිංහලයා ‘වඳවීම’ ! Empty සිංහලයා ‘වඳවීම’ !

Sat May 18, 2019 7:16 pm
මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම “ධර්ම දේශනයකදී” ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ සමාජයේ ඉතා සුලබය. එමෙන්ම වේගයෙන් පැතිරී යන ඒ කතා කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නා ‘බුද්ධිමත් ජනතාවක්’ අපට සිටී. කණගාටුවකට, ඒවායෙහි සත්‍ය-අසත්‍යතාවය විමසා බැලීමේ විචාරශීලී බවක් අද දවසේ ඔවුන්ගෙන් අපේක්ෂා කල නොහැකිය. ඒ හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ළමුන් වැඩි වැඩියෙන් බිහිකරන අතර නුදුරු අනාගතයේදී සිංහල ජාතිය අභිබවා මුස්ලිම් ජනගහනය උතුරා යන බවයි. මේ බිය ගැන්වීම හා කුපිත කිරීම වඩාත් තීව්‍ර කරනු පිණිස පවසා ඇති මුසාව වන්නේ මුස්ලිම් ජාතිකයින් සිංහලයින් මෙන් 6 ගුණයක් ළමුන් බිහිකරන නිසා වසර 2040 වන විට ඔවුන් රටේ ජනගහනයෙන් බහුතරය වන බවයි. මේ ප්‍රබන්ධය සඳහා මූලාශ්‍රය කුමක්දැයි පවසා නැති අතර මෙතරම් මුසාවක් පැවසු ශ්‍රී මුඛයෙන් ඊට වඩා තවත් බොරුවක් එකතු කිරීමද එතරම් කාරියක් නොවේ. මේ “ධර්ම දේශනයට” පෙරාතුව එහි සිටි ‘සැදැහැවතුන්’ පන්සිල් හි පිහිටුවා ලූවාට ද සැක නැත. එමතුද නොව “මුසාවාදා වේරමනී..” ශික්ෂාපදයද චාරිත්‍රානුකූලව දෙසා වදාරන්නට ඇත.

පසුගිය සතියේ මාගේ යතුරු පැදිය ‘සර්විස්’ කරගැනුමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරු මාගේ රැකියාව පිළිබඳව කල විමසීමේදී මා දුන් පිළිතුර සමග ක්ෂණයෙන් ඇසු ප්‍රශ්නය වුයේ “ලංකාවේ සිංහල කොපමණද මුස්ලිම් කොපමණද ?” යනුවෙනි. සිංහල ජනගහනය 75 % කට ආසන්න බව හා මුස්ලිම් ජනගහනය 10 % කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්ව යලි ප්‍රකාශ කලේ “මුස්ලිම් අය සිංහල අයට වඩා වැඩියැයි කියන්නේ …. ?” . මේ නොදැනුවත් භාවය හා සැකය පොදු සමාජ මනෝභාවයකි. පොදු මිථ්‍යාවකි. මෙය ඔහු වැනි බොහෝ දෙනෙකු තුල කැකෑරෙන ප්‍රශ්නයකි. එහෙත් මේ සරල දැනුම ලබාගෙන තමන් ගිලී සිටින අඳුරු ගුහාවෙන් නිදහස් වන්නට අපේ ජනතාව උත්සාහ දරන්නේ නැත. එලෙසම අදාළ ආයතන මේ කරුණු පැහැදිලිකොට සමාජ මනස නිරවුල් කරන්නට ඉදිරිපත් වන්නේද නැත.

කටකතා විචාරයකින් තොරව වැළඳ ගන්නා මෙවැනි අය ඉන්ටනෙට් හි සුලභව පවතින මේ නිවැරදි තොරතුර සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැලෙන්නේ ද නැත. කෙසේමුත් ‘කුමන්ත්‍රණ’මානසිකත්වයෙන් පෙලෙන අපේ හුදී ජනසමාජය වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම ජනමාධ්‍ය සතු යුතුකමකි. (පහත වගුව පෙන්වා දෙන්නේ ඇත්තෙන්ම මුස්ලිම් ජනවර්ගය මෙන් 6 ගුණයක් සිංහල ජනවර්ගය විසින් දරුවන් බිහිකරන බවයි.) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කරගන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී ප්‍රබන්ධය කෙතරම් මුසාවක්ද යනවග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.

ජනවර්ගය උපත් සංඛ්‍යාව (2004 වර්ෂය) උපත් සංඛ්‍යාව (2007 වර්ෂය) උපත් සංඛ්‍යාව (2010 වර්ෂය)
සිංහල 258,120 272,062 255,697
ශ්‍රී ලංකා දෙමල 44,177 47,964 46,288
ඉන්දියානු දෙමල 18,106 18,116 16,544
මුස්ලිම් (මුවර්) 42,556 46,948 43,926
වෙනත් 1,752 1,483 1,426
එකතුව 364,711 386,573 363,881
මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ්

අඩවියේ registration of live births by ethnic group

ඊට අමතරව, පසුගිය ජන සංගණනයන්හි සංඛ්‍යාලේඛන ප්‍රතිපල අනුව එක් එක් ජනවර්ගයන්ට අදාළ ජනගහන ප්‍රතිශතයන් පහත දක්වා ඇත. 1991 වසරේ රටේ පැවති වාතාවරණය තුල, දස වසරකට වරක් පැවැත්වෙන මෙම සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවති ජන සංගණනයේදී උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 7 ක තොරතුරු ආවරණය කිරීමට නොහැකි වූබව සැලකිල්ලට ගතයුතුය.

ජන වර්ගය 1901 1971 1981 2012
සිංහල 65.4 % 72.0 % 74.0 % 74.9 %
ශ්‍රීලංකා දෙමළ 26.7 % 11.2 % 12.7 % 11.2 %
ඉන්දියානු දෙමළ – 9.3 % 5.5 % 4.2 %
මුස්ලිම්/මුවර් 6.4 % 6.7 % 7.0 % 9.2 %
වෙනත් 1.5 % 0.8 % 0.8 % 0.5 %


ඇත්තෙන්ම මීට වසර 60 කට පමණ පෙර සිංහල ජනවර්ගයේ ජන ප්‍රතිශතය 65 % ක් පමණ විය. එහෙත් අද එය 75 % කට ආසන්න වී ඇත. එනිසා පසුගිය අඩසියවස සලකා බැලු විටද සිංහල ජනවර්ගය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව ද වැඩිවී ඇත. දෙමළ හා බර්ගර් ජනවර්ග රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජන සංයුතිය වැඩිවී ඇත.

නූතන ප්‍රවනතාවය වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ග වල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. ඒ අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන් රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩි නොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුලට සංක්‍රමණ සිදුනොවීම අපේ රටේ මේ විශේෂ තත්වයට හේතුවයි. [ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ඨ බුද්ධිමතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාර්ක් මහතාට පවා ශ්‍රී ලාංකික පුරවැසි භාවය හිමි නොවුනේ ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඇති නීතිමය අවහිරතාවය නිසාය.]

බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකිතරම් ජනගහනය වර්ධනය කරගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවයට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තුදෙන මට්ටම පිළිබඳව සලකා බලා ජනගහන වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් ඒ අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජනවර්ගයේ වුව යහපත් මිනිසුන් සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජනවර්ගය මිනුම්දන්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා යන මිනුම් දණ්ඩ පදනම් කරගෙනයි. කෙසේවුවත් සිංහල සමාජය තුල තම ජනවර්ගය ප්‍රමාණාත්මකව ‘අවදානමකට’ මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව ‘අවදානමකට’ මුහුණපා ඇතැයි යන යතාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයෙකු යම් අවදානමක් අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුමක් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානම පදනම් කොටගෙනයි. එවකට ඇමෙරිකාව සෝවියට් දේශය අභියෝගයක් ලෙස සැලකුවේ එහි භූමි ප්‍රමාණයේ විශාලත්වය නිසා නොවෙයි; එදා සෝවියට් දේශය සතුව තිබුණු දේශපාලන, යුධ හා අභ්‍යවකාශ තාක්ෂනය හේතුවෙනි; එනම් ගුණාත්මක ශක්‍යතාවය හේතුවෙනි. අද ඇමෙරිකාව චීනය අභියෝගයක් ලෙස සලකන්නේ එහි ජනගහනයේ විශාලත්වය නිසා නොවෙයි. චීනය සතුව ඇති ආර්ථික, මිලිටරි හා තාක්ෂණික හැකියාවන් නිසාය; එනම් චීනය අත්පත්කරගෙන ඇති ගුණාත්මක ශක්‍යතාවය හේතුවෙනි. ප්‍රමාණය හා ගුණය අතර වෙනස දියුණු ලෝකය වටහාගෙන ඇත. ඔවුන් තම උපායමාර්ග හා සැලසුම් සකස්කරනුයේ ප්‍රමාණය මත නොව ගුණාත්මක බව පදනම් කරගෙනයි.

අතීතයේ විවාහ කටයුත්තකදී (කුලය හැරුණු විට) සහකරු හෝ සහකාරිය උරුමකම් කියන ඉඩකඩම් දේපොළ “ප්‍රමාණය” එකම වැදගත් කාරණය විය. නමුත් අද වඩා වැදගත් කොට සලකන්නේ ඔහු හෝ ඇය සතු දැනුම, වෘත්තික තත්වය වැනි ගුණාත්මක කාරනය. ප්‍රමාණය හා ගුණය අතර වෙනස අපේ ආසන්න ජීවිත කරුණු වලට අදාළ කරගන්නේ එලෙසයි. එහෙත් සමාජ කාරණා වලදී එතරම් විචාරශීලී භාවයක් අපෙන් නිරූපණය නොවේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum