සිංහල වෙළඳ සංසදය
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Go down
Munidasa
Munidasa
Admin
Posts : 26
Join date : 2019-05-09
https://sinhala.forumotion.asia

බිස්නස් කියන්නේ සල්ලි විතරක් නොවේ... හිතේ සතුට නැති බිස්නස් තාවකාලිකයි. Empty බිස්නස් කියන්නේ සල්ලි විතරක් නොවේ... හිතේ සතුට නැති බිස්නස් තාවකාලිකයි.

Sat May 18, 2019 6:34 pm
ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියල හිතන් ඉන්න තරුණ පිරිස අතරින් බොහෝ දෙනෙකුට තමන් පටන් ගන්න ඕන මොන විදිහෙ ව්‍යාපාරයක්ද කියන එක හැඟීමක් නෑ... ඒ ගැන ඇහුවහම හැමෝම වගේ කියන්නේ අතට සල්ලි ලැබෙනවනම් ඕනෑම ව්‍යාපාරයක් කමක් නෑ කියලයි.... ව්‍යාපාරයක අවසාන අරමුණ ලාභය තමයි. ඒත් අතට ලැබෙන මුදල ගැන විතරක් හිතලා ව්‍යාපාරයක් පටන් ගන්නවනම් ඒක නිවැරදි තීරණයක් විදිහට මට හිතෙන්නේ නෑ... ඒ නිසා අද කටගැස්මෙන් ඒ ගැන කතා කරන්න මම තීරණය කළා.

අද දවසේ ඇරඹෙන පුංචි ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් එහි හිමිකරුවාගේ සම්පූර්ණ ජීවිතයම ඒ ව්‍යාපාරය බවට පත්වෙන්න ඕන... රැයක් දවාලක් නැතිව අව්වට වැස්සට විවේකයක් නැතිව ගොඩනඟන ඒ ව්‍යාපාරය
අනාගතයේ දවසක රටේ මිනිස්සුන්ගේ ජීවිතයට නැතිවම බැරි අංගයක් වෙනවනම් ඒක තමයි ව්‍යාපාරිකයාගේ සතුට....කවදහරි දවසක ඒ ව්‍යාපාරය තමන්ගේ දරු මුණුපුරන්ගේ ජීවිතය බවට පත් කරලා නිවී හැනහිල්ලේ
බලන් ඉන්න දවසක් වෙනකම් එහි නිර්මාතෘවරයා ඒ ව්‍යාපාරයත් එක්ක ජීවත් වෙන්න වෙනවා...ක්ෂණික ලාභය ගැන හිතලා අපි අකමැති දෙයක් අපේ ව්‍යාපාරය විදියට තෝරගත්තොත් හිතට එකඟව ඒ ව්‍යාපාරයත් එක්ක ජීවත් වෙන්න අපිට පුළුවන්ද ? ඒක හරියට වටිනා දෑවැද්දක් එක්ක ලැබුණු අකමැති ගැහැණියක් සමඟ ජීවත් වනවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නේ...


ටිකක් හොඳට හිතල බලන්න පුංචියට පටන් අරන් අද දවස වෙනකොට අපේ රටේ මිනිස්සුන්ට නැතිවම බැරි දේශීය ව්‍යාපාර ගැන.... මැලිබන් බිස්කට්.... ඩීඑස්අයි සෙරෙප්පු.... සිද්ධාලේප වගේ ඒවා.... මේ ව්‍යාපාර
සියල්ලම අද දවසේ කරන්නේ ආරම්භක ව්‍යාපාරිකයාගේ දෙවැනි පරපුර... හෙට දවසේ මේ ව්‍යාපාර වහල දාලා තමන්ගේ දේපළ වලින් ජීවත් වෙන්න මේ අයට පුළුවන්... ඒත් සිද්ධාලේප චුට්ටකින් දවසේ වෙහෙස වේදනාවනිවාගන්න මැලිබන් බිස්කට් හැර වෙන මොනවත් බිස්කට් එකක් ගෙදරකට නොගන්න මේ සමාගම් වල අනිවාර්ය පාරිභෝගිකයින්ට මේ නිෂ්පාදන නැති හෙට දවසක් ගැන හිතන්න කොච්චර අමාරු වෙයිද? කිසියම් ව්‍යාපාරයක් තමන්ගේ පාරිභෝගිකයින්ගේ ජීවන අවශ්‍යතාවයක් එහෙමත් නැත්නම් ජීවිතයේ කොටසක් කරන්න එම සමාගම් වල නිර්මාතෘ වරු කොතරම් මහන්සි වෙන්න ඇද්ද? අදටත් ජීවතුන් අතර ඉන්න සිද්ධාලේප හිමිකරු වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා අද තමන්ගේ ව්‍යාපාරය ගැන කොච්චර සතුටු වෙනවා ඇද්ද?

එදා ලාභය ගැන හිතල අතට අහුවෙන “බයින් ඇන්ඩ් සෙලින්“ බිස්නස් එකක් කරල ජීවිතේ ගැට ගහගෙන ගියානම් හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් වලින් ඇරඹීලා අද මහා වෘක්ෂයක් වන ඒ මහා ව්‍යාපාර ජාලය නිර්මාණය
කරන්න - ලාංකීය ව්‍යාපාර කේෂ්ත්‍රෙය් මඟ සළකුණක් - පහන් ටැඹක් වෙන්න ඔහුට පුළුවන් වෙයිද? ඒ නිසා රටට ලෝකෙට නමක් තියන සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ඔබට අවශ්‍ය නම් ඒ ව්‍යාපාරය තමන්ගේ හිතට
දැනෙන - තමන් ආදරය කරන ව්‍යාපාරයක් වෙන්නම ඕන... ඒත් ඔබට ඕන සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වෙන්න විතරක් නම් ව්‍යාපාරය සමඟ කිසිම බැඳීමක් නැතිව කාලෙන් කාලෙට තාලෙන් තාලෙට අහුවෙන ඕනෑම දෙයක් ව්‍යාපාරයක් විදියට කරන්න බාධාවක් නෑ...

අපේ රටේ ගොඩක් දෙනා ව්‍යාපාරයක් ආරම්භ කරද්දි හිතන්නේ තමන් කැමැති ව්‍යාපාරයක් ආරම්භ කරන්න නොවෙයි.... අනුන් කැමැති ව්‍යාපාරයක් ආරම්භ කරන්න... එහෙමත් නැත්නම් බලෙන් ඇතිකරගත් කැමැත්ත
මත ව්‍යාපාරයක් කරන්න. කවුරුහරි කෙනෙක් හවසට හන්දියේ තම්බපු කඩල , බැදපු වඩේ අලෙවි කරන්න ගත්තොත් සති දෙක තුනකින් එතැනට යාබදව කඩල කරත්ත තුන හතරක් නවත්තලා තියෙනවා දකින්න පුළුවන්. එතැනදි පළමු ව්‍යාපාරිකයා එතෙන්ට ආවෙ තමන්ගේ කැමැත්තෙන්... ඒත් ඊට පස්සේ අය එතෙනට ආවේ පළමු ව්‍යාපාරිකයාගේ සාර්ථකත්වය ගැන ඉරිසියාවෙන් - ඔහුගේ සාර්ථක අලෙවිය ගැන තියෙන ලෝභයෙන්....

දැන් මොකද වෙන්නේ..... එතෙනට එන පාරිභෝගික පිරිස දෙකට තුනට බෙදිලා ගිහින් එකදු ව්‍යාපාරිකයෙකුටවත් සාර්ථක ආදායමක් නොලැබීම..... මේ නිසා වෙන්නේ අසාර්ථක ව්‍යාපාර රාශියක් බිහිවීම... ඒත් එතනට එන දෙවැනි තුන්වෙනි ව්‍යාපාරිකයා ඉඳිආප්ප ටිකක් - අඩු මුදලට ෆ්‍රයිඩ් රයිස් එකක් - නූඩ්ලස් පාර්සල් ටිකක් වගේ වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කළා නම් දෙදෙනාටම අනන්‍ය පාරිභෝගික කුලකයන් නිර්මාණය කරගත හැකියි නේද? රුපියල් පනහකට අඩුවෙන් වියදම් කරලා ගෙදර ඉන්න දරු පවුලට මොනවහරි ගෙනියන අය වඩේ ව්‍යාපාරිකයා ළඟත් - රුපියල් සියයක් හමාරක් වියදම් කරලා ගෙදරට රෑ කෑම ගෙනියන අය දෙවැනි ව්‍යාපාරිකයා ගාවත් නවතීවි.

ඊළඟට මුද්‍රණ කර්මාන්තයක සේවකයෙක් හරි පාන් බනිස් අලෙවි කරන චූන් පාන් වාහනේක රියදුරෙක් ගැන හිතන්න... තමන්ගේ රැකියාවේ ස්වභාවය හා එහි ව්‍යාපාර සූක්ෂමතා අධ්‍යයනය කරන ඔවුන් ඒ කෙරෙහි නැති
කැමැත්තක් ඇති කරගන්නවා.... ඊළඟට ඔවුන් ආරම්භ කරන්නේ ඒ ජාතියේම ව්‍යාපාර.... පුංචි Riso මැෂිමක් හරි පරිගණකයක් හරි අරගෙන ඒ නගරයේම කොනක තවත් මුද්‍රණාලයක් අරඹන ඒක .... තමන් වැඩ කරපු
ආයතනයෙන් ඉවත් වෙලා කුළියට ගත්තු ත්‍රිවීලරයක වෙනත් බේකරියකින් ගත් පාන් බනිස් කළින් තමන් ගිය මාර්ගෙය්ම විකුණන ඒක.... ඒ සේවකයාම ගරාජයක හරි පළතුරු කඩයක හරි වැඩ කළානම් ටික දවසකින් තවත් ගරාජයක් හරි පළතුරු කඩයක්..... ඇත්තටම මේක තමන්ට කන්න දුන්නු අත හපා කෑමකට සමානයි නේද?


මේ විදියට අනුන්ගේ කැමැත්තක් තමන්ගේ කරගෙන කරන ව්‍යාපාරයක දිගින් දිගටම යෙදෙද්දි එහි සාර්ථකත්වය වෙනුවෙන් කරන්න වෙන කැපවීම යම් දවසක අපිට කරදරයක් විදියට දැනුනොත් එදාට ආපහු හැරිලා එන්න බැරි දුරකට අපි ගිහින් තියෙන්නත් පුළුවන්.... එදාට අපි කැමැති ව්‍යාපාරයක් ආරම්භ කරල ආපහු මුල ඉඳන් පටන් ගන්න හරි - නැත්නම් කරගෙන ආව ව්‍යාපාරය නවත්තලා දාන්න හරි - බැඳගත්තු බෙරේ අකමැත්තෙන් හරි ගහගෙන යන්න හරි අපිට සිද්ධ වෙන්න පුළුවන්... ඒත් අපි අකමැති ව්‍යාපාරයක් වුණත් වෙනත් සාධක මත සාර්ථක ව්‍යාපාරයක් විදියට මහ පොළව මත ස්ථාපිත කරගන්න පුළුවන් වුණොත් මේ ගැටළු මේ විදියට එන්නේ නෑ... ඉහත සඳහන් කළ ගැටළු මතුවෙන්නේ අපේ නොවන කැමැත්තකින් කරන ව්‍යාපාරයක ගැටළුකාරී තත්වයක් / අසාර්ථකත්වයක් ආවොත් විතරයි.

මේ විදියට කවුරු හරි කැමැත්තෙන් කරන ව්‍යාපාරයක් අපේ කරගැනීම ට වඩා අපිට අපි කැමැති ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරිද? පුළුවන්.... වසර ගණනාවකට කළින් මුනිදාස කුමාරණතුංග වියතාණන් තමන්ගේ ගී පද රචනයක “අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී“ කියල කිව්වේ මේ ගැන තමයි.... අපි කාවවත් අනුකරණය නොකර අළුත් විදියට හිතුවොත් මේ ලෝකේ මිනිස්සුන්ට අවශ්‍ය වන තවමත්
ඉදිරිපත් නොවුනු ව්‍යාපාර අවස්ථා ගණනාවක් හොයාගන්න පුළුවන්.... මේ ගැන ජනප්‍රිය කතාවක් පහුගිය සමයේ එක්තරා බ්ලොග් අඩවියක පළවෙලා තිබුණා....

“පෝය දවසක එක්තරා විහාරස්ථානයකට යන මාර්ගයේ ටිකක් ලොකු ගහක් යටට ජාතික ඇඳුමක් ඇඳගත්තු තෙල් බේත් වෙළෙන්දෙක් දවසක් ආවා.... මෙයා ළඟ තට්ට හිසක පවා නැවැත කෙස් ලියලන තෙලක් තමා විකුනන්න තිබ්බේ....මේ වෙළෙන්දා මේකේ ගුණ වයමින් විකුණන්න ගත්තා. මිනිස්සු පොර කකා මේ බෙහෙත් තෙල අරන් ගියා.. එදා මේ තෙල ගත්තු එක්තරා මනුස්සයෙක් ඊළඟ පෝය දවසේ මේ විහාරස්ථානයට යන මාර්ගයේ අර පරණ වෙළෙන්දා හිටි තැනට ටිකක් ඉදිරියට වෙන්න ‘තට්ටෙ කෙස් නැවැත ලියලන තෙලක්‘ විකුනන්න පටන් ගත්තා... දැන් වෙළෙන්දෝ දෙන්නයි... අළුත් වෙළෙන්දා පරණ වෙළෙන්දාට වඩා ඉදිරියෙන් තැනක හිටි නිසා ඔහුට බිස්නස් වැඩියි... මේ සිද්ධිය දැකපු වෙනත් පුද්ගලයෙක් පැරණි වෙළෙන්දාගෙන් අළුත් තෙල් වෙළෙන්දා ගැන ඇහුවා... “මහත්තයෝ එක සුද්දෙක් ෂූස් හැදුවා... ඒක දැකපු අනිත් එකා මේස් හැදුවා. .. මේ දෙකම දැකපු තව එකෙක් ලේස් හැදුවා... මේ තුනම දැකපු තවත් එකෙක් පොලිෂ් හැදුවා... හැම එකාටම බිස්නස් තියෙනවා... උන් දියුණු වුණේ එහෙම. ඒකට අපේ කාලකන්නි... එකෙක් යමක් කරලා ඉස්සරහට එනවා දැක්කනම්...අනික් හැම එකාම හදන්නේ ඒකම කරන්න... මහත්තය බොරුනම් බලන්න... ලබන පෝයට මෙතන තෙල් බෙහෙත් කාරයෝම හතරක් පහක් ඉඳීවි... අපේ වෙදකමේ හන්දි තෙල්- වාත තෙල් - කැඩුම් බිඳුම් තෙල් - හිස තෙල් ගනනාවක් තියෙද්දි උන් ඔක්කොම විකුණන්නෙත් තට්ටෙ කෙස් වැවෙනව කියන මේ තෙලම තමා..... කියලා උත්තර දුන්නා... “


ඔන්න අපේ රටේ මිනිස්සු ගැන අපේ රටේ මිනිස්සුම කියන විදිහ.... නගරයක සමාන ආකාරයේ ව්‍යාපාර ගැන අතිතය හොයල බැලුවොත් මේ කතාව මේ විදියටම ඔබේ නගරයෙත් වෙලා තියෙනවා කියල දැනගන්න
පුළුවන් වේවි... බස් එකේ යද්දි- කෝච්චියේ යද්දි - නිවාඩුවට සවාරියක් යද්දි - මඟුල් ගෙදරක යද්දි - හොඳට වට පිට බලල සමාජ අවධානය ඇතිව විමසිල්ලෙන් බැලුවොත් ව්‍යාපාර අවස්ථා ගණනාවක් ගැන ඔබටත්
සිහියට ඒවි... අද දවසේ ඔබට ව්‍යාපාරයක අවශ්‍යතාවය නැත්නම් මේ විදියට සිහියට එන ව්‍යාපාරික අවස්ථා දිනපොතක හෝ සටහන් කෙට තබාගන්න... අනාගතයේ දවසක ඔබට ව්‍යාපාරයක් අවශය දවසක ඒ ව්‍යාපාර
අවස්ථා ඔබට වැදගත් වෙන්න පුළුවන්...

ව්‍යාපාරික ලෝකයේ සැරිසරන ඔබට අත්වැලක් වෙන්න මේ පුංචි තීරු ලිපිය ඔබට වැදගත් වුනානම් ඒක තමයි මගේ සතුට... ව්‍යාපාරිකයෙකු විදියට ඔබට හිතන්න උවමනා තවත් දේවල් ගැන ඊළඟ කටගැස්මෙන් කතාකරමු. කටගැස්මේ රස නීරස ගැන ඔබේ අදහසුත් අපිට කියන්න.

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum